ඇදුරන්ගේ සටන ‐ ජය ගත යුතු සටනක් ද? (Demands of the Academics – should they be won?)

August 21st, 2012 by admin

විශ්ව විද්‍යාල ඇදුරන් වැඩ වරා සති කිහිපයකි. නමුත් වගකිව යුත්තන්ටත්, මහජනතාවටත් එය එතරම්ම දැනී නැත. සමහර වෘත්තීන් හි සේවාවන් සාමාන්‍ය ජනතාව හා ඍජුව සම්බනධ වන බැවින් එහි සිදුවන යම් බලපෑමක් කෂණිකව අත්දැකිය හැකි වුවත්, විශ්ව විද්‍යාල ඇදුරන් ගේ සේවය එසේ නොවන්නක් බැවින් එහි සිදුවන බලපෑම සාමාන්‍ය ජනතාවට කෂණිකව අත්දැකිය නොහැකි වී ඇත. වෛද්‍ය පීඨයන් හි දේශන පැවැත්වෙන බැවින් වෛද්‍ය සිසුන් හැරුණු කොට අනිකුත් බහුතරයක් වූ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් හට පමණක් ප්‍රශ්නය ඍජු ලෙස බල පා ඇත. මේ අතර අපගේ උසස් අධ්‍යාපන ඇමතිතුමා මෑතකදි විශ්ව විද්‍යාල ඇදුරන්ගේ මෙම වෘත්තීය සමිති ඉල්ලීම් “පොඩි එකාගේ ලියුමට ” සමාන කළේය. එනම් එහි ගත යුත්තක් නොමැති බවය. එය හුදෙක් විහිළුවක් බවය. ඇදුරන්ගේ මෙම වෘත්තීමය ක්‍රියා මාර්ගය මෙලෙස පහසුවෙන් බැහැර කළ හැක්කක්ද?
විශ්ව විද්‍යාල ඇදුරන් ද අප සමාජයේ ම උප කුලකයකි. එසේම අප සමාජයේ අනිකුත් වෘත්තින් හි අඩුපාඩු, වංචා තවත් වෘත්තියක නැතැයි පැවසීම ද විහිළුවකි. එමෙන්ම සමාජයේ කෙතෙරම් අඩු පාඩු, දූෂණ වංචා තිබුණ ද තම වෘත්තිය කැප වීමෙන් හා සත්‍ය ගරුකව ඉටු කරන පුරවැසියන් අප සමාජය තුළ අදද දැකිය හැක. මෙම හොඳ නරක ස්වභාවයන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තියට ද පොදු වු කාරණයෝය.
බොහෝ විට ඔවුන් ලබන වැටුපට සරිලන සේවයක් නොකරන බවට ද අවලාද නැඟේ. නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවක සේවිකාවන් බොහොමයකට එක වැඩ මුරයක් තුළ නිම කළ යුතු කිසියම් වැඩ ප්‍රමාණයක් ඇත. මෙය “ටාගට් එක ” ලෙස ඔවුන් අතර ප්‍රචලිතය. විශ්ව විද්‍යාල ඇදුරකු ගේ සේවයේ ප්‍රමාණාත්මක බව ගණනය කිරීමට එලෙස “ටාගට් ” පැනවිය හැකිද? එලෙසම ඇදුරන්ගේ සේවයේ ගුණාත්මක බව සොයා බැලීමට “කොලිටි කොන්ට්‍රෝලස්ලා ” පත් කළ හැකිද? මෙම වෘත්තියෙහි පවතින මෙම සුවිශේෂි බව සමාජය හඳුනා ගත යුතු අතර, ඔවුන්ගේ සේවයේ උපරීම ඵල අප සමාජයට ලබා දීමට පාලකයන් ක්‍රියා කළ යුතුය..
මෙම වෘත්තියට පසු ආකර්ෂණීය බවක් අප ලබා දී තිබේද? මෙහිදි ඔවුන් නඟන ප්‍රධාන තර්කයක් මතකයට නඟනු කැමැත්තෙමි. අපේ ජනාධිපතිතුමා නවක මන්ත්‍රිවරයකු ලෙස 1970 දි පාර්ලිමේන්තුවට යද්දි ඔහුගේ මාසික වැටුප රු.600.00 කි. එකළ නවක උපාධිධරයෙකු මහ බැංකුවේ පත්වීමක් ලදහොත් ඔහු හෝ ඇයගේ මාසික වැටුප ද රු. 600.00 කි. නමුත් එකළ උපාධිය හොඳින් සමත්ව විශ්ව විද්‍යාලයේ ආචාර්යය මඩුල්ලට ඇතුල් වන නවකයෙකු ගේ මාසික වැටුප රු. 700.00 කි. අද නවක මන්ත්‍රීවරයෙකු ගේ වැටුප ගණනය කළ හැකිද? එහි සීමාවක් තිබේද? දුරකථන හා වෙනත් පහසුකම් වලට සීමාවන් තිබේද? අද මහ බැංකුවට අනුයුක්ත වන නවක උපාධිධරයෙකුගේ මාසික වැටුප රු.60,000.00 ඉක්මවන බව පැවසේ. නමුත් අද විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ප්‍රථම පෙළ සාමාර්ථයක් ඇතිව අළුතින් ඇතුල් වන නවක උපාධිධරයෙකුගේ මාසික වැටුප රු.30,000.00 ටත් අඩුය. එසේ නම් හැත්තෑව දශකයේ සිට මේ දක්වා මෙම වෘත්තියට දී ඇත්තේ කිනම් වැදගත් කමක්ද? කිනම් ආකර්ශණීය බවක්ද? සැබැවින්ම සිදු වී ඇත්තේ හැන්ද අත ඇති අය තමාට ම හැකි තරම් ඛෙදා ගැනීමක් නොවේද?
ඔවුන්ගේ වැටුප් තලයන් මෙලෙස අඩු තත්වයක තිබීමට තවත් හේතුවක් නම්, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග එතරම්ම ප්‍රබල නොවීම ය. සමහර රැකියා වලින් ඇති කරන වෘත්තීය සමිති ක්‍රියා මාර්ග සමාජයට ඇති කරන බලපෑම ක්ෂණිකය. එවැන්නන් ගේ ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමේ දී පාලකයෝ ද ඉක්මන්ය. ක්ෂණිකව බලපෑමක් ඇති නොවුව ද දිගු කාලීන බලපෑම් ඇති කරන මෙවැන් වෘත්තීය සමිති ගෙනෙන්නා වු ඉල්ලීම් වලට අප පාලකයෝ එදත් අදත් එක සේ සංවේදි නොවෙති.
මේ තත්වය නිසා නවක උපාධිධාරින් විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට ආකර්ශණය කර ගැනීමට නොහැකි වී ඇත. එබැවින් දෙස් විදෙස් හි ඉහළ වැටුප් තලයන් ඇති රැකියා වලට ඔවුහු නැඹුරු වීම පුදුමයට කරුණක් නොවේ. මෙම තත්වය නවක උපාධිධාරින්ට පමණක් නොව පරිණත මහාචාර්යවරුන්ට ද පොදු වු කාරණයකි. බොහෝ විට ඔවුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ට වඩා ඉහළ වැටුප් ලබති. තවත් විටෙක ඔවුහු විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු හා පර්යේෂණ කටයුතු වලින් බැහැර වී වෙනත් පහසු ආදායම් මාර්ග වෙත යොමු වෙති. (උදා: උසස් පෙළ සිසුන් ට ටියුෂන් දීම.)
මෙම සියළු කාරණා වලින් සිදු වී ඇත්තේ විශ්ව විද්‍යාල වල ගුණාත්මක බව පිරිහිම හා ඒවා පවත්වා යා නොහැකි තත්වයකට පත්වීමයි.
සමහර විශ්ව විද්‍යාල ඇදුරන් ද මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අසාධාරණ බව පවසති. මෑතකදි එක් මහාචාර්යවරයෙකු පැවසුයේ තමාගේ දරුවන් තමාට වඩා වැටුප් ලබන බවය. දැනට තමාගේ දියණිය විශ්ව විද්‍යාල සිසුවියක් බවත්, බොහෝ විට තමාට වඩා ඉහළ වැටුපක් සහිත රැකියාවක නිරත වීමට ඇයට හැකි බවත් ය. එම මහචාර්යවරයාගේ අදහස නම් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ගේ සේවය ගරු කටයුතු රැකියාවක් නිසා ඉහළ වැටුප් අපේක්ෂා නොකළ යුතු බවය.
එය සත්‍යයකි. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ගේ මෙහෙවර ගරු කටයුතු දෙයකි. ඔවුන් මේ සියල්ල කරන්නේ ජාතියට ඇති කැපවීම නිසා විය හැකිය. නමුත් ඒ දේ මත පමණක් රදා පවතිමින් මෙරට උසස් අධ්‍යාපනය නඟා සිටුවිය හැකිද?
මෙම ගරු කටයුතු සේවයට දිය යුතු ගරුත්වය කෙසේ වෙතත් අද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව “නිකමුන් ” බිහිකරන්නා වු පිරිසක් ලෙස හංවඩු ගසා ඇත. ඔවුන්ට දිය යුතු ගරුත්වය ගැන හැඟීමක් අප පාලකයන්ට නැත. මහාචාර්ය සරත්චන්ද්‍ර ට කාණු පල්ලෙ දමා පහර දුන්නේ ඒ නිසාය. වසර ගණනාවක් ගෙවුනද, පාලක පක්ෂය වෙනස් වූව ද මෙම තත්වය වෙනසකට භාජනය වී ඇති වගක් පෙනෙන්නට නැත.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සටන විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පමණක් සීමා වී නොමැත. ඔවුන් දේශීය දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කරන මෙන් ද ඉල්ලා සිටිති. දින දින වැසී යන පාසැල් ගණන නිරීක්ෂණය කළ විට එම ඉල්ලීමේ වලංගුතාවය හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ. විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නේ දිස්ත්‍රික්ක පදනම සැළකිල්ලට ගෙනය. ඊට හේතුව දිස්ත්‍රික්ක පදනමින් අධ්‍යාපන පහසුකම් වල පවතින විෂමතාවයයි. මෙම ක්‍රමය දියත් කළේ මීට වසර ගණනාවකට පෙරය. නමුත් මේ විෂමතාවය ඉවත් කර, සෑම දිස්ත්‍රික්කයකටම සම අධ්‍යාපන පහසුකම් ලබා දීමට මෙතෙක් කිසිදු රජයක් ඵලදායි පියවරක් ගෙන නොමැත. දළ ජාතික නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරන සොච්චමක මුදලින් මෙම කාර්යය විධිමත්ව කළ නොහැකිය.
අද මෙරට විශ්ව විද්‍යාල වල වෛද්‍ය පිඨයන් හි භූටාන වෛද්‍ය සිසු සිසුවියන් ඉගෙන ගන්නා බව අපි දැක ඇත්තෙමු. නමුත් භූටානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිශතය ශ්‍රි ලංකාවට වඩා වැඩි බව පැවසේ. කරුණු කාරණා එලෙස නම්, ශ්‍රි ලාංකික සිසු සිසුවියන්ට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට භූටානය බලා යෑමට සිදු වන දිනය වැඩි ඈතක නොවනු ඇත.
මේ කරුණු සළකා බැලීමේ දී විශ්ව විද්‍යාල ඇදුරන්ගේ මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හුදෙක් ඔවුන්ගේ පඩිපත වැඩි කර ගන්නාවට වඩා වැඩි යමකි. ඔවුන් ගේ ඉල්ලීම් “පොඩි එකාගේ” ලියුමට වඩා බරපතලය. මෙය විශ්ව විද්‍යාල ඇදුරන්, ජාතියේ අනාගත අභිවෘද්ධිය සැළකිල්ලට ගනිමින් ගෙන යන්නා වු සටනකී. ඔවුහු තම සටන ජය ගත යුත්තේ එනිසාය.
කෝලිත දිසානායක.

Download PDF

Entry Filed under: Articles

Leave a Comment


Required


Required, hidden



Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed